බිබිලාදෙණිය ශ්‍රී ගුණානන්ද මධ්‍ය මහා විද්‍යාලය

පාසලේ ඉතිහාසය

මාධ්‍ය සංසදයේ රැස්වීම

morningmeeting2.jpeg
morningmeeting2.jpeg

 

බිබිලාදෙණිය ශ්‍රී ගුණානන්ද මහා විද්‍යාලයේ 1920 දශකයේ තොරතුරු ස්වල්පයක්

          ක්‍රි.ව. 1920 දශකය වන විට මෙම විද්‍යාල ආරම්භ කොට වසර 18 ක් ගෙවී ගොසිනි. එවකට එහි ගුරු මඩුල්ල දස දෙනෙකු ගෙන් පමණ සමන්විත විය. මේ අවදියෙහි පූජ්‍ය ගරු යද්දෙස්සාවේ සීලානන්ද මාහිමිපාණන් වහන්සේ පාසැලේ කළමනාකාර ධූරය හොබවමින් සිටියහ. එසේ වූයේ පාසනා පරම විද්‍යාලාර්ථ බෞද්ධ සමාගම යටතේ පැවති නිසාවෙනි.

          මෙම සමයේ මීගහපෑලැස්සේ ආර්.ඇම්.පීරිස් අප්පුහාමි රත්නායක මහත්මා (කොරනෙල් රාළහාමි - ජ්‍යෙෂ්ඨ) නිතරම පාහේ පාසැලට පැමිණෙමින් ආධාර කරුවෙකු හා උපදේශකවරයකු ලෙස පාසැලට අත හිත දෙමින් කටයුතු කෙළේය.

ගොඩනැගිලි හා එහි තත්ත්වය  

        මෙකල පැවැති ගොඩනැගිලි ස්ථීර ඒවා නොවීය. ගොඩනැගිලි පද්ධතිය ඉංග්‍රීසි H අකුර හැඩයගත් ආකෘතියක් ඉසිලිය. වරිච්චි බැඳ, මැටි ගසන ලද එකී ගොඩනැගිලි ද පාසලේ ලොකු කුඩා සිසු දරු දැරියන්ගේ ශ්‍රමයෙන් ම ඉදිකරණ ලද ඒවා විය. විශාල කුඹුරු යාය අසබඩ මිටියාවතේ භූමි භාගයක පිහිටි මෙම ගොඩනැගිල්ලට, එම කාල වකවානුවේ පැවැති ධාරානිපාත වර්ෂාව හේතු කොට ගෙන බලවත්සේ අලාභහානි ද සිදුවිය. ඒ අසල අද පවත්නා මහ ඔයට යොදා තිබූ පාලම තාවකාලික ලෑලි පාලමක් විය එවකට ඇතිවන ගංවතුර බැස යාමට එය කිසිසේත් ප්‍රමාණවත් නොවීය. එයින් ඇතිවන අවහිර හේතුවෙන් පාසැලේ ගොඩනැගිලි සේදී කැඩී බිඳ හැලෙන අවස්ථා ද වරින්වර ඇති විය.

          ගුරු නිවාසයද එම ගොඩනැගිල්ලක එක කෙළවරක විය. එම ගොඩනැගිල්ලේ සියළුම බඩු බාහිරාදිය සමඟ බිත්තියේ එල්ලා තිබූ "සෑන් තෝමස්" වර්ගයේ ඝටීකාව (ඔරලෝසුව) ද ගං වතුරට ගසාගෙන ගොස් ඔබ ගණනාවකට පහළ වනරොදේ ගසක අත්තක රැඳී තිබී වේලාව වඳින හඬ අසල් වැසියෙකුට ඇසීම නිසා එය යළි සොයා ගැනීමට හැකියාවක් ලැබිණ.

මුල් ගුරු පදවිය

          මෙම කාල වකවානුවෙහි දී, එහි මුල්ගුරු පදවිය දරණ ලද්දේ "කළුතර මහත්මයා" නමින් හැදින් වූ ඩී.ඒ.අමරසිංහ මහත්මාය. කොණ්ඩය බඳින ලද එතුමා, එවකට පිළිගත් ඇඳුම වූ ටූවිට් රෙද්ද හා කබායෙන් සැරසුන ඝණ උඩු රැවුලකින් හෙබි, ආරෝහ පරිනාහ දේහයෙන් යුත්, ගැඹුරු තේජාන්විත පෙනුමක් ඇති "මහකළු සිංහලයා" යි හැඳින්විය හැකි අංගයන් ගෙන්  ගුරු පියාණන් කෙනෙකි.

හෙළ සාහිත්‍යයේ ඉපැරණි සුපතල වදන් කවිපොතෙහි එන

තිබූ තැනක සොර සතුරන් ගත  නොහෙනා

ඒ සැඬ මහා වතුරෙන් වත් වල  නොහෙනා

කෝප වුවත් රජ මැතිඳුන් ගත   නොහෙනා

උගත මනා ශිල්පය ම යි මතු        රැකෙනා